මෝහිනීගේ පළිගැනීම

මෝහිනීගේ පළිගැනීම 

Image result for women ghost

වේලාව රාත්‍රී 12:40ට පමණ වන්නට ඇත. සුපුන් සිය මිතුරාගේ උපන්දින සාදයෙන් නික්මුණේ සියළුම මිතුරන්ගේ මැසිවිලි මැදය. කලකට පසු පැරණි මිතුරන් හමුවී ඔවුන් හා විනෝදවන්නට රිසි වුවද, වෘත්තීය ඡායාරූප ශිල්පියෙකු වූ සුපුන්ට පසු දින මංගල උත්සවයක් ඡායාරූපගත කරන්නට යෙදී තිබුණ හෙයින්, සිත්තැවුලෙන් වුවද මිත්‍ර සමාගමය හැර එන්නට සිදුවිය. එසේවුවද එදින උපන්දිනය යෙදී තිබුණු දිනේෂ්ගෙන් සමුගන්නා විට සුපුන්ව එදින නතර කර ගැනිමට ඔහු දැඩි වෙහෙසක්  දැරුවේය.


"සුපුවා පිස්සු නැතුව අද ඉඳලා හෙට පලයං මිනිහෝ. උඹලා නිකම් මෙහෙ නයිට් ගැහුවෙ නැති එවුන් වගේනෙ බං" දිනේෂ් කීවේ කට ඇද කරමිනි. ඒ සමගම අතීත මතකයන් සිහිව දෙදෙනාම මහා හඬින් සිනාසුණහ.


 "අඩෝ දිනේෂයා උඹට මතකද බං උඹලෑ පන්සලේ කටිනෙ දවස? මට නම් මතක් වෙද්දිත් බඩ රිදෙනවා යකෝ හිනාවෙලා. උදේ පාන්දර ගේට්ටුවෙ පෝළිමට  කෙසෙල්  ගෙඩි ගහලා තියෙද්දි ආරියපාල මුදලාලියට මොනවා හිතෙන්න ඇද්ද නේ බං?" 


"පොර සාත්තරේකුත් බැලුවා බං මගෙ හිතේ,  තාම නම් අපිට අවුලක් නෑ" දිනේෂ් ඇසක් වසමින් කීවේය.


"හරි හරි බං මම යන්නෝන දැන්, උඹ හෙට හවස  වගේ ඒ පැත්තෙ වරෙංකො. මම අලුතෙන් ෆිල්ම් හතරක් විතර බෑවා. මගෙ පෙන් එක යවපු දීපංකරේකින් හොයං වරෙන් මගෙ යකා අවුස්සන්නෙ නැතුව" සුපුන් නිවසින් අඩියක් එළියට තබා කීවේය.


"අනේ මංදා බං මට නම් හිතට හ‍රි  නෑ උඹ යන්න හැදුවට, කෝකටත් ෆෝන් එකේ සවුන්ඩ් දාලා තියාගනිං. ගෙදර ගිහින් කෝල් එකක් දියං. පරිස්සමින් පලයං ඔතන සොහොන ගාව මෝහිනී ඉන්නව" :3  දිනේෂ් කීවේ සුපුන්ව බිය ගන්වන අදහසිනි.


"පල  පල ඩෝ. මෝහිනී ඉතිං මගේ ගාණෙත් බඩක් උස්සන පොටක් තමා ඒ.  :P

ඒනම් අපි කැපුණා මචං" අතක් ඔසවා ආචාර කළ සුපුන්, සිය පා පැදියෙන් මඟට බැස්සේය. 


පාරේ බලු බල්ලෙක් නැත. වෙනදා නැති සීතලක්ද පරිසරයේ විය. තියෙන කරදර මදිවාට වැසි බිඳු එක දෙක වැටෙන්නට වී පසුව පොද වැස්සක් වසින්නට විය. පෝය පසුවී දින දෙකක් බැවින් සඳ එළිය තිබිය යුතු වුවද කළු වළාවක් සඳමඬල වසාගෙන තිබුණි. එක් වරම පරිසරය ඒකාලෝක කරමින් විදුලියක් කෙටූ අතර කණ්  බිහිරි කරවන ගෙරවීම ඒ පසුපස හඹා ආවේය.


"ෂිඃ, වැහි දෙයියන්ගෙ ආච්චිට හාල් ගරන්න, මටමයි කෙළවන්න හදන්නේ" බිය මැඬගන්නට උත්සාහ කරමින්, සුපුන් තමාටම කියාගත්තේය. තමාට පසුකරන්නට තිබෙන සුසාන භූමිය සිහිවීම ඔහුට යම්තමින් හෝ සැනසුමක් ඇති කළේ නැත. කුඩා කළ සිට ඇසූ හොල්මං කතා, මිතුරන් විසින් ගොතා කී භූතයන් සහ අවතාර පිළිබඳ කතා, තමා කියවූ පොත් අතර තිබූ ඩ්‍රැකියුලාගේ කතාව මෙන්ම පාසල් සමයේ කියැවූ ඩීමන් ආනන්දගේ පොත්, විදුලි වේගයෙන් සුපුන්ට සිහිපත් වන්නට විය. දැනටමත් තමා යට ඇඳුම තෙක් තෙතබරි වී ඇත. සොහොන් බිමට තව වැඩි දුරක් නැත.  


එක් වරම පා පැදියේ වෙනසක් දැණුන බැවින් එය නවත්වා පිටුපස පරීක්ෂා කළේය. පිටුපස රෝදයේ පැච් එකක් ගොස් ඇත. "මළ කෙළියයි, දැන් ඉතිං පලකො පයින්" මිතුරාගේ නිවසේ නොනැවතීම ගැන තමාටම ශාප කරගත්  සුපුන්, පා පැදියද තල්ලු කරගෙන පෙරට ඇදුණේය. 


සොහොන් බිම දැන් පෙනෙන මානයේය. තැන තැන නැගී සිටි පහන් කණුවල එළියෙන් සුදු පැහැති සොහොන් කොත් දිස්වේ. එක්වරම කෙටූ විදුලියක් සමඟ විදුලිය විසන්ධි විය. හදවත වේගයෙන් ගැහෙණා බව දැණුනද දැන් ඉදිරියට යනු මිස වෙනත් විකල්පයක් නැත. 


බෝගහ හංදිය පසුවිය, දැන් වෙල්‍ යාය මැද සොහොන් බිමයි. වළාවෙන් මෑත් වූ  සඳ, මළාණික එළියක් පතුරයි. එයින් පරිසරයේ ගුප්ත බව වැඩිවූවා මිස අඩුවුයේ නැත. හදවත දැන් දැන් නතර වේයැයි සුපුන්ගේ සිත හඬගා කියයි. 


එක්වනම, සිහින් පිච්ච මල් සුවඳක්  සුපුන්ගේ නාසය කිති කවන්නට විය. පිච්ච මල් සුවඳ ගැන නොයෙක් කතා අසා ඇතිමුත් සිහියට එන්නේ නැත. කොයි එකටත්කියා දෙපයට වෙරගත් සුපුන් දුවන්නට විය. දැන් තමා දුවන්නේ සොහොනට සමාන්තරවය, "තව මීටර්  200ක් දුවගත්‍තා නම් ගෙවල් මණ්ඩියක් අහුවෙනවා. එත් මොකක්ද මේ උළව් සුවඳ??? ඒක එන්න එන්නම වැඩි වෙනවානේ???" හති දමමින්ම සුපුන් තමාටම කියාගත්තේ සිතට දිරි ගැනීමටය.


එක්වරම, ක්ලාන්තය ඇතිවන තරම් තදින් පිච්ච මල් සුවඳ දැනෙන්නට විය. ඒ සමඟම විදුලි කෙටුවාක් මෙන් සුපුන්ගේ මනසට පිච්ච මල් සම්බන්දව මේ මොහොතේ විය හැකි නරකම දෙය වැටහී ගියේය. ඒත් සමඟම කොහේදෝ සිට පැමිණි මීදුමකින් සොහොන් බිමද, වෙල්‍ යාය සහ මාවතද වැසී ගියේය. සිතට නැඟුණු අදහස කටින් පිටවන්නට යද්දීම ඔහු දුටුවේ තම හදවත නතර කරාවූ දසුනකි. සුදුවතින් සැරසුණු කාන්තාවක් මීදුම අතරින් ඔහු කරා එමින් සිටියාය. 


සිය පිටකොන්ද දිගේ සිසිල් ගතියක් පැති‍ර යනු සුපුන්ට දැඩිව දැණුනි. කෑ  ගසන්නට සිතුවද උගුර කට වියැළී ඇත. දෙපා පොළවට මුල් ඇද ඇති සෙයකි. දැන් දැන් කත ඔහුට ආසන්නව ඇත. ඇය සුදු පැහැති ලෝගුවක් බඳු ඇඳුමක් ඇඳ සිටියාය. අඟුරු වැනි දිළිසුම් දුන් කෙස් කළඹ මුහුණද වසාලමින් ඇගේ ඉණ තෙක් කඩා හැලුනි. සිරුරේ නිරාවරණය වී තිබූ අංග සුදු පැහැති විය. ඇත්තෙන්ම එම්බාම් කළ මළමිනියක සුදට හුරුය. 


මේ වෙලාවේ සිහි එළවාගත් සුපුන් ආපසු හැරී බෝගහ හංදිය දෙසට දුවන්නට විය. වෙලෙහි



අඩක් පසු කරත්ම එක්වරම හෙතෙම තිගැස්සී නැවතුනේ සුදුවත හැඳි කත ඔහුගේ මග අවුරමින් ඉදිරියේ දිස්වූ බැවිනි.


"හත්දෙයියනේ, මේ ගෑනි කොහොමද මෙහෙට ආවේ. බුදු අම්මෝ, මේකිට මූණක් නෑනේද. බුදු අම්මෝ මාව බේරගනියෝ, මෝහිනී!!!!!


ඉතිපිසෝ භගවා..... "


සුපුන් සිහිසුන් විය.



Popular posts from this blog

අහපු දැනුණු හොල්මන් කතා ...!

වසර හතළිස්‌ දහසකට පෙර සිටි බෝදිලිමාගේ කතාව

සරුංගලේ